අම්පාරේ කසළ ව්‍යාපෘතිය නිසි ලෙස නඩත්තු නොවීමෙන් වන අලි ගම්වදිති


( වසන්ත චන්ද්‍රපාල)


අම්පාර නගර සභාව මගින් පවත්වාගෙන යනු ලබන කසළ ව්‍යාපෘතිය නිසි අයුරින් පාලනය නොකිරිම නිසා වන අලි  ගම්වැදීමේ තර්ජනයකට මුහුණ දීමට ගම්වාසීන්ට සිදු වී තිබේ. 


මෙම  අලි රාත්‍රී කාලයේදී  ආහාර සොයා කසළ අංගනයට වැදී  අනතුරුව ගම් වදින බව අම්පාර නගර වැසියෝ පවසති.


තිස්සපුර, නවගම්පුර,ගැමුණුපුර යන ගම්මාන වලට මෙම තර්ජන පවතින අතර මින් වැඩිම තර්ජනය එල්ල වි තිබෙන්නේ නවගම්පුර ගම්මානයට බව ද ගම්වැසියෝ කියති.


පසුගිය දිනෙක අම්පාර පොදු සුසාන භුමියට පැමිණි  මෙම වන අලි  එහි තිබු ස්මාරක කිහිපයක්ද කඩා දමා ඇති අතර බුද්ධංගල මාර්ගයේ ගමන් කරන යතුරුපැදිකරුවන්ට පහරදීමට ද ඔවුන් හඹා යෑම නිසා මෙම මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක තත්ත්වයට පත්ව  ඇතැයි කියති.


පසුගිය මාස කිහිපය තුළ අම්පාර නගර සීමාවේ පමණක් නිවාස ඇතුළු දේපල හානි 24 ක්  අම්පාර වනජීවි කාර්යලයට වාර්තා වි තිබේ.
මේ සම්බන්ධව අම්පාර වනජීවි සහකාර අධ්‍යක්ෂක එච්.ජී.වික්‍රමතිලක මහතා  සඳහන් කළේ ගම්වදින අලි  හැකි ඉක්මනින් එළවා දැමීමට කටයුතු කරන බවත්  මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරියේදි අලි වැටක්  ගැසීමට කටයුතු කරන බවත්ය.