අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි කියන්න


(මුදිතා දයානන්ද)

           

රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි ප‍්‍රායෝගිකව පිළිගත හැකි විසඳුමක් රටට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

රටේ ආදායම රුපියල් බිලියන 2000යි. ණය පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 1800ක් අවශ්‍යයි.  රට ගෙනියන්න ඉතිරි වෙන්නේ බිලියන 200ක් වෙද්දී ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීමට බිලියන 100කුත් බදු කපාහැරිමට බිලියන 400කුත් පොහොර නොමිලේ ලබාදීමට බිලියන 400කුත් සොයාගන්නේ කෙසේද? ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින්න කතා කරන අය ඇත්තටම කළ යුත්තේ මුලින්ම මේ ආයතන මහ බැංකුවෙන් නිසි නියාමනයකට ලක් කිරිමයි.

දෙවනුව අපේ රටේ ජනතාව මේ ආයතනවල ණය උගුලකට අසුවීමට බලපාන ආර්ථික රටාව වෙනස් කළ යුතුයි. වඩාත් වැඩියෙන් මේ ණය උගුලේ සිරවී සිටින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න සහය දීමෙන් මේ ණය උගුළෙන් ගොඩ ගන්න පුළුවන්. ඒවාට ක‍්‍රමවේදයක් මේ අයට නැහැ. ඒක තිබෙන්නේ ජාතික ජනබලවේගය සතුව පමණයි.