අභියාචනා සැලකීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභින් වැඩිවෙයි


අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔවුන්ට අදාළ හිග මුදල් ඇතුළු සියලු ගෙවීම් ලබන 18 වැනිදා වනවිට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසුවේය. ඒ අනුව දැනට පවුල් 1,854,000 ක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් එම පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 58.5ක මුදලක් රජය වැය කරන බවත් සේමසිංහ මහතා සඳහන් කළේය.

නමුත් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහ ජනමාධ්‍ය මගින් දැනුවත් කිරීම් සිදු කළද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර ලැබී නොමැති බව සේමසිංහ මහතා පැවැසුවේය.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් ඉන් පවුල් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බවත් සේමසිංහ මහතා සඳහන් කළේය. ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවැසුවේය.

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් මෙවර අයවැය මගින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205 ක් බවත් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.