අනුරගේ පෙත්සම සලකා බැලීම 25 වැනිදා


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 25 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය  නියම කළේය

මෙම පෙත්සම් අභියාචනාධිකරණය සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි ඊයේ කැදවිණි.

එහිදී අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ජනාධිපති කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත්කර ඇති බවය

එම කොමිසමේ නිගමනයන් ලැබෙන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා හෝ අල්ලස් කොමිසම වෙත යොමු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ මෙය හදිසි කටයුත්තක් සේ සලකා පෙත්සම් සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 25 වනදා කැඳවීමට දින නියම කෙරුණු අතර එදින අදාළ පෙත්සම් රුවන් ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන් න් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට ද නියම කෙරිණි.