(ඩබ්. ඒ. පියතිලක)
වෙනත් පුද්ගලයෙකු සතු බැංකු පෙර ගෙවුම් පතක් සොරකම් කර රුපියල් 125084ක මුදලක් වැය කර වෙළඳසල්වලින් භාණ්ඩ ලබාගත් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සේවය කරන ගුවන් භටයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන හිඟුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුත්තක නිරත වු අයෙකි.
මෙම ගුවන් හමුදා සෙබළා එම ප්‍රදේශයෙම නිවසක කුලී පදනම මත ලබාගත් කාමරයක නවාතැන් ගෙන සිට ඇත. එම නිවසේ හිමිකරුගේ බැංකු පෙර ගෙවුම් කාඩ්පත මෙම ගුවන් හමුදා සෙබළා සොරකම් කරගෙන කුරුණෑගල, දඹුල්ල සහ හිඟුරක්ගොඩ විවිධ වෙළදසැල් වෙත ලබාදෙමින් ගෘහ උපකරණ සහ විදුලි උපකරණ මිලදී ගෙන තිබේ.
කලක පටන් මෙම කාඩ්පතෙහි හිමිකරු රෝගාතුර විම නිසා රෝහල් ගතව සිට තිබේ. කාඩ්පත හිමිකරු වෙත බැංකුව විසින් එවන ලද මාසික වාර්තාව බලා පුදුමයට පත්ව ඒ පිළිබඳ සොයා බලා පසුව හිඟුරක්ගොඩ පොලිසියට ඊයේ (28) දින පැමිණිලි කර තිබේ. පසුව පොලිසිය විසින් කල විමර්ශන අනුව හිඟුරක්ගොඩ කාඩ්පත හිමි බැංකුවේ ඇති විඩියෝ දර්ශන අනුව පුද්ගලයා හඳුනා ගැනීමෙන් පසු මෙම ගුවන් හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගුවන් හමුදා සෙබළා අද (29) දින හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.

