අනතුරින් පසු ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක


(ශාන්ත චන්ද්‍රසිරි සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය- බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසල මහවංගුව ප්‍රදේශයේදී මෝටර් රථයකට පදිකයන් දෙදෙනකු ගැටීමෙන් පසුව එම ස්ථානයට රැස් වු ප්‍රදේශවාසීහු පිරිසක් මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරතවුහ.

තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම ස්ථානයේ මීට සති කීපයකට පෙර ත්‍රීරෝද රථයක් හා ලොරියක් ගැටී තිදෙනකු මිය ගිය බවත් ඊට ප්‍රථමද මාරාන්තික අනතුරු රැසක් සිදුව ඇති බවත් උද්ඝෝෂකයෝ චෝදනා කළහ.

අනතුරු බහුල ස්ථානයට අනතුරු වළක්වාලීමේ මාර්ග සංඥා පුවරු හා මාර්ගය හරහා බාධක යොදන ලෙස විරෝධතාවයේ නිරත පිරිස් වගකියයුතු අංශවලින් ඉල්ලා සිටියහ.