අනතුරට පත් යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ



ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (13) නාවික හමුදාව සොයාගෙන තිබේ.
 
මෙම පුද්ගලයා  ඉන්දියාවේ, රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කරුප්පයියා මුන්නසාමි නැමැති 55 වියැති පුද්ගලයෙකු බවට තහවුරු කරගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.
 
මේ වන විට මියගිය ධීවරයාගේ මෘතදේහය ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති  බවද නාවික හමුදාව සඳහන් කරයි.
 
මෙම සෝදිසි මෙහෙයුම අතරතුර තවත් ඉන්දීය ජාතික ධීවරයින් අට දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත්වී ඇති අතර, මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් කන්කසන්තුරෙයි, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.   
 
ඊයේ ( 12)  රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ඉන්දියානු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන්  ඇල්ලීම පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසු  ඔවුන්  අත්අඩංගුවට ගැනීමට යද්දී ඉන්දීය දීවර යාත්‍රා දෙකක් එකිනෙකට ගැයමීමෙන් අනතුරක් සිදු විය.
 
ඉන් පුද්ගලයින් 8 දෙනකු බේරාගැනීමට නාවික හමුදාවට හැකි වු අතර දිගින් දිගටම අනෙක් පුද්ගලයින් සොයා මෙහෙයුම් අරඹා තිබිණි. එහිදී මෙම මිය ගිය ධිවරයාගේ සිරුර හමු වී  තිබේ. එම සිරුර යාපනය පොලීසිය වෙත බාර දීමට නියමිතය .
 
දේශසීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලාංකීය මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් ඇල්ලීම සඳහා පැමිණි ඉන්දියානු ධීවර යාත්‍රා මඟින් ප්‍රදේශයේ දේශීය ධීවරයන්ගේ දැල් හා අනෙකුත් ධීවර ආම්පන්න රැසකට ද අලාභහානි සිදු වී  ඇතැයිද නාවික හමුදාව පවසයි.

(36698)