(සුජිත් හේවාජුලිගේ )
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන රියදුරන්ටද කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇත.
මේ අනුව සියලුම රියදුරන් අධිවේගී මාර්ග වල පිවිසුම් ස්ථානයන්හි කවුළු අසල ටිකට්පත් ලබා ගන්නා අවස්ථාවන්හිදී සහ මුදල් ගෙවීම් කරන අවස්ථාවන්හිදී මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වෙයි.
එසේම ටිකට්පත් ලබා ගන්නා අවස්ථාවන්හිදී සහ මුදල් ගෙවන අවස්ථාවන්හිදී රියදුරන් වාහනවල වීදුරු සම්පූර්ණයෙන්ම විවෘත කිරීම නොකළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පවසති.
ටිකට්පත් සහ මුදල් ලබාගත් පසු රියදුරන් අත් සේදුම් කාරක දියරයකින් අත් පිරිසුදු කර ගැනීමද වැදගත් බව එම නිලධාරීහු සඳහන් කරති.
මේ අතර අධිවේගී මාර්ගයන්හි පිවිසුම් හා පිටවීමේ කපොලුවල සිටින සේවකයන්ටද නව උපදෙස් මාලාවක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
අධිවේගී මාර්ගයන්හි සේවකයන් රැසකට කොවිඩ් ආසාදනය වීම නිසා එම මාර්ගයන්හි පිටවීමේ සහ ඇතුළුවීමේ මුර කපොලු රැසක් පසුගිය කාලයේදී වරින් වර වසා දැමීමට සිදුවිය.
මේ අතර ඇතැම් රියදුරන් අධිවේගී මාර්ග වලට ප්‍රවේශ වීමේදී ලබාදෙන ප්‍රවේශ පත්‍රය නැති කරගන්නා බවත් මුදල් ගෙවීම් කරන මොහොතේදී මෙවැනි සිද්ධීන් නිසා පිටවීමේ කපොලුවල අනවශ්‍ය තදබදයක් ඇතිවීමෙන් පසුපසින් පැමිණෙන රියදුරන්ටද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ටිකට්පත් නැතිකරගන්නා අවස්ථාවලදී එම ටිකට් පත නැති කරගත් රියදුරු මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට පැමිණි අයෙකු සේ සලකා මුදල් අයකර ගන්නා ලෙස අධිවේගී මාර්ග සේවකයන්ට උපදෙස් දී ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පැවැසීය.
එසේ මුදල් අයකරගැනීමට අධිවේගී මාර්ග වලට අදාල නීතියෙන්ම අවසර ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

