
(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම සියයට 50කින් පමණ අඩු වී ඇතැයි එම මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා ලංකාදීපයට පැවැසීය.
ආදායම මෙසේ සියයට 50 කින් පමණ පහත වැටී ඇත්තේ සංචරණ සීමා හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය හරි අඩකින් පමණ අඩු වීම නිසා යැයිද ඔහු ප්‍රකාශ කළේය.
රට පසුගිය 25 වැනිදා විවෘත කෙරුණු අවස්ථාවේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර තිබූ වාහන සංඛ්‍යාව හතළිස් හය දහස් හය සියයකි.
එම දිනයේ දී ලැබූ ආදායම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි.
මේ දිනවල එම ආදායම ඊටත් වඩා අඩු වී ඇතැයිද වැඩබලන අධ්‍යක්ෂක වරයා කීවේය.
සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙනත් සාමාන්‍ය දිනක වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ධාවනය කෙරෙන අතර සාමාන්‍ය දිනයකදී උපයන ආදායම රුපියල් දෙකෝටිඅසූ ලක්ෂයකට ආසන්න යැයිද මිහාල් ලොඩ්වික් මහතා සඳහන් කළේය.

