හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන හඬපටවලින් අධිකරණය සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු පිළිබඳව අගවිනිසුරුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (20) පැවැසීය.
අධිකරණය කෙරෙහි වූ ගෞරවය හා විශ්වාසය නොමැතිව රටකට ඉදිරියට ගමන් කළ නොහැකි බැවින් එම විශ්වාසය නැවත ඇතිකිරීමේ වගකීම සියලුම දෙනාට පැවැරෙන බව ද ඔහු කීය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී ඊයේ (20) පැවැති සාකච්ඡාවකදීය.
ඉකුත් රජය යටතේ අධිකරණයට ඇඟිලි ගැසීම් සිදුව තිබෙන බව ඉතාම පැහැදිලි බවත් කෙසේ වෙතත් මෙම හඬපට සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ජනාධිපති කොමිෂන් සභාවට දන්වා තිබෙන බවත් අගමැතිවරයා පැවැසීය.
පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන රටේ සංවර්ධනය ඇති කිරීම රජයේ බලාපොරොත්තුව බව කී අගමැතිවරයා ණය ගෙවාගත නොහැකි ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමත් සමග රටේ පොඩි පොඩි වෙනස්කම් සිදුවෙමින් තිබෙන බවද සඳහන් කළේය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වත්මන් ආණ්ඩුවෙන් විශේෂ ආරක්‍ෂාවක් ලබාදී ඇති බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර සිටියේ හිටපු අගමැතිවරයා වශයෙන් ඔහු ආරක්‍ෂාව ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුවක් ගෙන නැති බවයි.
ඔහුට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් සොයාබලා ඔහුට ආරක්‍ෂාව ලබාදෙන බව කී අගමැතිවරයා ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්වූ දවසේම ඉකුත් රජය තම ආරක්‍ෂාව ඉවත්කළ බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පැවැසූ අගමැතිවරයා එය කිසිසේත්ම නතර නොකරන බව ද කීය.
වත්මන් රජය රටේ ජාතික සම්පත් නොවිකුණන බවට ප්‍රතිපත්තියක සිටිය ද ඒවා බදු නොදීමට තීරණයක් ගෙන නැති බව ද කීය. ගැබිනි මවුවරුන්ට ලබාදෙන පෝෂණ මල්ල නතර කර ඇති බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අගමැතිවරයා සඳහන් කළේය.
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.