අධිකරණ නියෝග නොතැකූ බැංකු නිලධාරියාටත් ඇප


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි 49 ක් සංසරණය වූ බැංකු ගිණුම අත්හිටුවන ලෙස දුන්  අධිකරණය  නියෝගය කඩ කළ බැංකු විධායක නිලධාරීවරයා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට ගල්කිස්ස අධිකරණයේ  මහේස්ත්‍රාත් උදෙශ් රණතුංග  මහතා අද  (2) නියෝග කළේය. විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන රත්මලාන 'කුඩු අංජු' සහ මොරටුමුල්ල  'ඇල්ටෝ ධර්මේ' නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලැබු මත්කුඩු ජාවාරමේ  මුදල් මෙම බැංකු ගිණුමට යොමු කර තිබිණ.

රුපියල්   ලක්ෂ  5 බැගින්  වූ ශරීර ඇප දෙකක් මත සහ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරදීමටත්,විදෙස් ගමන් තහනම් කිරීමටත් හා සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9- 12.00 ත් අතර කාලයේ  බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිටින ලෙසත් කොන්දේසි පනවමින් අදාළ බැංකු නිලධාරියාට මහේස්ත්‍රාත්වරයා  විසින් ඇප නියම කරන ලදි.

මෙලෙස ඇප මත මුදා හැරියේ පෞද්ගලික බැංකුවක මූලස්ථානයේ මුදල් විශුද්ධි කිරීම වැලැක්වීම සහ අනුකූලතා අංශයේ විධායක නිලධාරීයෙකි. ඔහු පානදුර නල්ලූරුව  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2020 මැයි මස 22  දින රත්මලාන ප්‍රදේශයෙන් හෙ⁣රොයින්  මත්කුඩු සමග  අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවකුගෙන් මෙම බැංකු ගිණුම සම්බන්ධයෙන්   ලද තොරතුරු මත අදාළ ගිණුම අත්හිටුවන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබිණ.