අතුරුදන් වූවන්ගේ ඥාතීහු කළු ඇඳුමින් සැරසී වීදි බසිති



(සිතුම් චතුරංග)
 
උතුරේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් සමරණ 73 වන නිදහස් දිනය දෙමළ ජනයාගේ ‘කළු දිනය ‘බව පවසමින්, ජාතික නිදහස් දිනයට හා  සැමරුමට විරෝධය දක්වමින් වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු  අද(04) විරෝධතාවක නිරතවූහ.
 
කළු ඇඳුමින් සැරසී විරෝධය දැක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසා සිටියේ සිංහල ජනතාව අභිමානයෙන් නිදහස සැමරුවද යුද සමයේ අතුරුදහන්වූ තමන්ගේ ඥාතීන් සොයාදීමටත් මානවහිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ මෙතෙක් ද්‍රවිඩ ජනතාවට සාධාරණයක් ඉටුකරදීමට කටයුතු නොකර ඇති බැවින් තමන් ඇතුළු ද්‍රවිඩ ජනතාව නිදහස් දිනය වර්ජනය කරන බවය.
 
වවුනියාව නගරයේ හා කිලිනොච්චිය නගරයේ ස්ථාන කිහිපයක නිදහස් දිනයට විරෝධය දක්වමින් කළුකොඩි ඔසවා විරෝධතාවයට සහයපලකොට තිබූණි.
 
පෙරේදා(03) දින සිට අද( 05) දින දක්වා උද්ඝේෂණ හා පෙළපාලි නොපවත්වන ලෙස වවුනියාව හා කිලිනොච්චිය මූලස්ථාන පොලිස් ස්ථානයන් විසින් දිසා අධිකරණයන්ගෙන් ලබාගෙන තිබූ වාරණ නියෝගද නොසලකාහරිමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මෙම විරෝධතාවයන් සංවිධානය කර තිබිණ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවය පලකරමින් කිලිනොච්චිය නගරයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද සංවිධානයකර තිබිණ.
 
විරෝධතාකරුවන් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එවා මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවට සඳහන් වාර්තාව පිළිගනිමින් උතුරේ සිදුවූ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සොයාබලන ලෙසත්ය.යුද්ධයේදී අතුරුදහන්වූ සිය ඥාතීන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට රජය ඉඩලබාදෙන ලෙසත් ඉල්ලමින් විරෝධතාවය දැක්වූහ.
 
වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසා සිටියේ තමන් බන්ධනාගාරගතකළද සිය අතුරුදහන්වූන්ගේ ඥාතීන් සොයාගන්නා තෙක් විරෝධතාවයන් පවත්වන බවයි.
 
විරෝධතාවයන් හේතුවෙන් වවුනියාව හා කිලිනොච්චිය නගරයේ පොලිස් ආරක්ෂාව තරකොට තිබිණ.

විරෝධතාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහාදාරලිංගම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් , හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු සිවිල් සංවිධාන රැසක් විරෝධතාවය සඳහා එක්ව සිටියහ.