අත්‍යවශ්‍ය ආහාර වර්ග හයකට තොග - සිල්ලර මිල පරාසයක්


(යොහාන් භාසුර)

පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට උපරිම තොග සහ සිල්ලර මිල පරාසයක් ප්‍රසිද්ධ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.  

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අල සහ මයිසූර් පරිප්පු සඳහා මෙසේ උපරිම තොග සහ සිල්ලර මිල ප්‍රසිද්ධ කළේය.  

වියළි මිරිස් කිලෝවකට රුපියල් 900 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400 ක, අල කිලෝවකට රුපියල් 145 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1300 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 ත් 1500 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450 ත් 570 ත් අතර, අල කිලෝවක් රුපියල් 180 ත් 210 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300 ත් 360 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.