
(නිමල කොඩිතුවක්කු)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
බී ලූනු, සහල්, පරිප්පු, අර්තාපල්, හාල්මැස්සන් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල කිසිදු පාලනයකින් තොරව දිනපතාම ඉහළ යමින් පවතින බව ද ඔව්හු සඳහන් කරති.
ඒ අනුව මේ වනවිට වෙළඳපොලේ බී ලූනු කිලෝවක් රුපියල් 240ත් 280ත් අතර මිලකටත්, ලංකා අල කිලෝව රුපියල් 280ත් 300ත් අතර මිලකටත් පරිප්පු කිලෝව රුපියල් 480ත් 520ත් අතර මිලකටත් හාල් මැස්සන් කිලෝව 1300ත් 1500ත් අතර මිලක් දක්වාත් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල ආරංචිමාර්ග පවසයි.
මෙයට අමතරව රතු ලූනු කිලෝව 380ත් 420ත් අතර මිලකටත් සුදු ලූනු කිලෝව රුපියල් 600ත් 750 ත් අතර මිලකටත් රට අල කිලෝව 220ත් 240ත් බිත්තරයක් රුපියල් 25ත් 28ත් අතර මිලකටත් අළෙවි වන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කරවල, උම්බලකඩ, මාලු සහ එලවලු මිලගණන්ද මීට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල සමීක්ෂණයකදී හෙළි විය.
වෙළඳපොළේ අමුමිරිස් කිලෝවරුපියල් 600ත් 700 ත් අතර මිලකටත් කැරට් කිලෝවක් රුපියල් 240ත් 280ත් අතර මිලකටත්, බොංචි කිලෝවක් රුපියල් 320ත් 360ත් අතර මිලකටත්, තක්කාලි කිලෝවක් රුපියල් 200ත් 250ත් අතර මිලකටත්, ගෝවා කිලෝවක් රුපියල් 160ත් 200 ත් අතර මිලකටත් වම්බටු කිලෝවක් රුපියල් 320ත් 360ත් අතර මිලකටත් දෙහි කිලෝවක් රුපියල් 500ත් 600 ත් අතර මිලකටත් අළෙවි වන බවද පාරිභෝගිකයෝ පවසති.
මේ අතර කොස්, දෙල්, පලා වර්ග ආදී දේශීය ආහාර ද්‍රව්‍ය මිලද මීට සමානව ඉහළ ගොස් ඇතැය වාර්තා වේ.

