නාලක සංජීව දහනායක
ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා තමන් මුණගැසීමට තම නිවසට හා කාර්යාලයට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (17) පැවසීය.
එහෙත් එම අවස්ථාවලදී තමන් නිවසේ නොසිටි බැවින් ඔහු නිවස තුළට ගෙන නැතැයිද එහෙත් තමන් මුණගැසිය යුතු බව සඳහන් කරමින් ඔහු නිවස ඉදිරිපිට රැදී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
එම ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ ඔත්තුකරුවකු බවට මේවනවිට තොරතුරු අණාවරණය වී ඇති බවත් රාජේන්ද්‍ර කුමාර් යනුවෙන් ඔහු සංවිධානය තුළ හඳුන්වන බවත් ඔහුට ආර්.බී 317217/වී.ජේ දරණ අංකයෙන් යුතු හැඳුනුම්පතක් ද රෝ සංවිධානය නිකුත් කර තිබූ බවද කී මන්ත‍්‍රීවරයා කීය.
දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා බව පවසමින් 2015 ජනාධිපතිවරණයට පෙර ඔහු මෙරටට පැමිණ ඇතැයිද සඳහන් කළ මන්ත‍්‍රීවරයා රෝ ඔත්තු සේවයෙන් ලැබුණ මුදලින් ඔහු ලංකාවේ ජීවත් ව ඇති බවද වීරවංශ මන්ත‍්‍රීවරයා පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.