අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙළෙඳ කලාපයට


(යොහාන් භාසුර සහ ටී.කේ.ජී. කපිල)

’කොවිඩ්’ මර්දන එන්නත්කරණයත් සමඟ ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ කොවිඩ් පැතිරීමේ අඩුවක් පෙනෙන්නේ යැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

ආයෝජන ප්‍රවර්ධන කලාපවල පසුගිය සමයේ වූ වේගවත් කොවිඩ් ව්‍යාප්තිය හා සසදා බැලීමේදී විශාල අඩුවිමක් පෙන්නුම් කරන බවත් සියලුම ආයෝජන කලාප තුළ ‘කොවිඩ්’ මර්දන එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මොහොට්ටාල මහතා පැවසීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ සමස්ත ආයෝජන මණ්ඩල සේවක සංඛ්‍යාවෙන් සියයට 60 කට වැඩි පිරිසකට මේ වන විට එන්නත ලබාදී ඇති බවයි.

කටුනායක නිදහස් වෙළද කලාපයේ රුපියල් කෝටි දෙකහාමාරක් වැයකරමින් ඉදිකළ කොවිඩ් අතර මැදි සත්කාර මධ්‍යස්ථානය ආසාදිතයින් සදහා විවෘත කරමින් මොහොට්ටාල මහතා අද (05) එසේ පැවසීය.

මීගමුව මහ රෝහල ප්‍රතිකාර ක්‍රියාත්මක කරන මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇදන් 500 ක් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වේ.

නිදහස් වෙළද කලාප නිෂ්පාදන සංගමය මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටියක්, ගම්පහ ජාතික තරුණ සේවා සභාව ඇදන් 100 ක් සහ ක්‍රිස්ටල් මාර්ටින් සමාගම සත්කාර මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති පරිශ්‍රය පරිත්‍යාග කර තිබේ.

නිදහස් වෙළද කලාප නිෂ්පාදන සංගමයේ සභාපති ජිතේන්ද්‍ර බියිලා, එහි ලේකම් ධම්මික ප්‍රනාන්දු, ක්‍රිස්ටල් මාර්ටින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් මුලර්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, එහි විධායක අධ්‍යක්ෂ එම්. කේ. ඩී. ලෝරන්ස් සහ මීගමුව මහ රෝහලේ වෛද්‍ය නිර්මලා යෝගනාදන් යන මහත්ම මහත්මීහූ සහභාගි වූහ.