අඩුපාඩුවක් වී ඇත්නම් ජනපති හමුවී සාකච්ඡා කරන්න


(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු යළිත් එවැන්නක් සිදුවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා සියලූ ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවත්, තවත් කුමන හෝ අඩුපාඩුවක් ඇතැයි සිතෙන්නේ නම් එතුමා සමඟ සාකච්ඡා කරන්නැයි කාදිනල් මැක්ලම් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගෙන් ඉල්ලා සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ප‍්‍රහාරයන් නිසා විනාශ වූ කොච්චිකඬේ, කටුවාපිටිය දේවස්ථාන නාවික හමුදාව, යුද හමුදාව යොදවා මාස දෙකක් තුනක් ඇතුළත ප‍්‍රතිසංස්කරණය කළෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව බව කී මහලේකම්වරයා ඒවා විවෘත කර ලකුණු දමාගැනීමට එතුමා කටයුතු නොකළ බවද සඳහන් කළේය.

ඒ ආකාරයෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානයද යථා තත්ත්වයට පත්කරගෙන යමින් තිබෙන බව දයාසිරි ජයසේකර මහතා කීවේය.

සිදුවන කටයුතුවල අඩුපාඩුවක් ඇතැයි කාදිනල්තුමන්ට සිතෙන්නේ නම් කළ යුත්තේ ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡා කර විසඳාගැනීම මිස වේදිකා මත ඒ ගැන කතා කිරීම නොවන බව ද කී මන්ත‍්‍රීවරයා එසේ ගැටුම් ඇතිකරගැනීම හොඳ දෙයක් නොවන බව ද ප‍්‍රකාශ කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.