අඩු බර පාන් අලෙවිකරන බේකරි වැටලීමේ මෙහෙයුමක් අද සිට


(ජයන්ත සමරකෝන්)
 
කොළඹ දිස්ත්‍රික්කය තුළ අඩු බර පාන් (ග්‍රෑම් 450ට අඩු) අලෙවිකරන, අලෙවිසල් හා බේකරි දෛනිකව වැටලීමේ මහා මෙහෙයුමක් අද(11) සිට ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
 
ග්‍රෑම් 450ට අඩු බර පාන් අලෙවිය සපුරා තහනම් වුවද වෙළෙඳපොළේ ඊට අඩු බරින් යුතු පාන් අලෙවිය මහා පරිමාණයෙන් සිදුවන බවට ලැබෙන පාරිභෝගික පැමිණිලි මත මෙම තීරණය ගත් බවද, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ‘ලංකාදීප’යට අද පැවැසීය.
 
2019 වසර තුළ මෙවැනි වැටලීම් 5ක් පමණක් සිදුකර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා මෙම වැටලීම් දිස්ත්‍රික්කය පුරා අඛණ්ඩව සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන බවද සඳහන් කළේය.
 
මීට අමතරව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා ඒකකයට අයත් වැටලීම් කණ්ඩායම් යොදවා සෑම මාසයකට ම වරක් වැටලීම් 8ක් සිදුකර වාර්තා කැඳවීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
 
මේ පිළිබඳ සියලුම පැමිණිලි අංක 0112369134 යන දුරකතනයට යොමුකරන ලෙසත්, සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන් ම එම අවස්ථාවේදී ම ක්‍රියාත්මක වන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.