අඟුණකොළේ බන්ධනාගාරයේ කෑල්ලක් ‘කොවිඞ්’ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට


(යොහාන් භාසුර)

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ඉවත්කර කාන්තා අංශය ‘කොවිඞ්’ ආසාදිත රැඳවියන්ගේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පවසයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැවියන් දිවයින පුරා සෙසු බන්ධනාගාරවලට යොමු කර වෙනම කොටසක් ලෙස පවතින එහි කාන්තා අංශය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන බවත් ‘කොවිඞ්’ ආසාදිතයන් බවට පත්වන පිරිමි රැඳවියන්ට ප‍්‍රතිකාර ලබාදෙන බවත් චන්දන ඒකනායක මහතා කියයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 130 ක් මේ වන විටත් අඹේපුස්ස බන්ධනාගාරයට යොමුකර ඇති බවත් ඉතිරි කාන්තා රැවියන් 18 දෙනා බළපිටියට යැවීමට නියමිතව තිබූ බවත් එම බන්ධනාගාරයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා මේ වන විටත් ඇඳන් 40 ක් බන්ධනාගාරයට ගෙනවිත් ඇති බවත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර තුළ දැඩි ‘කොරෝනා’ අවදානමක් ඇති බවත් දැනගන්නට තිබේ.