අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් දුරකථන - සුරුට්ටු මිටි සොයාගනී


(ජයන්ත සමරකෝන්)
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බී වාට්ටුව අසළ භූමියේ වළ දමා තිබූ ජංගම දුරකථන 4ක් සහ සුරුට්ටු මිටි 21ක් අත්අඩංගුවට ගත් බවත්, ඒවා බන්ධනාගාරයට ගෙනයාමට උපකාර කළ බවට චෝදනා ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් රඳවා සිටින බී වාට්ටුව අසළ භූමියේ වළ දමා තිබී මෙම ජංගම දුරකථන සහ සුරුට්ටු මිටි සොයාගෙන ඇත.
 
බන්ධනාගාර අණ දෙන නිලධාරියා ද වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇතැයිද වාර්තා වේ.
 
බන්ධනාගාර නිලධාරීන් ලද තොරතුරකට අනුව බී වාට්ටුව ඉදිරිපිට භූමිය පරීක්ෂා කිරීමේදී මෙම ද්‍රව්‍ය තොගය හමුවී ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
 
බන්ධනාගාර අවන්හලේ රාජකාරි කටයුතු කරන නිලධාරීන් තිදෙනෙකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එම තිදෙනාගේ වැඩ තහනම් කිරීමේ සූදානමක් ඇතැයිද, හෙට(09) බන්ධනාගාර අමාත්‍යංශය වෙත මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් භාරදීමට නියමිත බවද එහි උසස් නිලධාරියෙක් පැවසීය.