අගලවත්තටත් නරි බියක්


(බන්දු තඹවිට)

අගලවත්ත හෑළඹ ප්‍රදේශයේදී නරියෙකු සපාකෑමෙන් කාන්තාවක තුවාල ලබා ඇතිබවත්, ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් නරියා මරා දමා ඇති බවත් අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක චන්දන තෙවරප්පෙරුම මහතා පැවසීය.
 
නරියාගේ හිස වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවු බවත්  ඒ මහතා කීය.

අගලවත්ත හෑළඹ ප්‍රදේශයේ පදිංචි අනුලා පොන්නම්පෙරුම නමැති 64 හැවිරිදි කාන්තාවක මෙසේ තුවාල ලබා ඇත.

 පසුගිය 11 වනදා තම නිවස අසල පිහිටි තේ ඉඩමක තේ දලු නෙළමින් සිටින විට සවස එහි පැමිණි නරියා එම කාන්තාවගේ පාදය සපා කා ඇති අතර කාන්තාවගේ කෑ ගැසීම ඇසී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් පහර දී නරියා මරණයට පත්කර ඇත.
 
ප්‍රදේශවාසීන්ගෙ දැනුම්දීමෙන් අනතුරුව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් මියගිය නරියාගේ හිස වැඩිදුර පරීක්‍ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇත.
 
එම නරියා සපා කෑ බවට ඇතිවූ සැකයක් මත එම ප්‍රදේශයේ බල්ලන් එන්නත් කිරීම ඊයේ දහවල් වනවිට ආරම්භ කර තිබු අතර නරියාගේ හිස පරීක්ෂා කිරීමෙන් පසුව නරියාට ජලභීතිකා රෝගය වැළඳී  ඇති බවට තහවුරු වුවහොත් එම ප්‍රදේශයේ ගවයන්ද එන්නත් කිරීමට පියවර ගන්නා බව අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක චන්දන තෙවරප්පෙරුම මහතා පැවසීය.