අකුරැස්ස ප්‍රා.සබේ හිටපු සභාපතිගේ නඩු තීන්දුව ජනවාරි 9 වැනිදා


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද(15) තීන්දු කළේය.
 
එම නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මහාධිකරණ විනිසුරුවරයා එහි තීන්දුවට දින නියම කළේය.
 
නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් එම පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූයේ එම විත්තිකරු විසින් තමන්ව දූෂණය කළ බවට දූෂණයට ලක්වූ තරුණිය 2012 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලබා දුන් ප්‍රකාශ අනුව පැහැදිලිවම පෙනී යන බවත්, ඇයගේ එම ප්‍රකාශය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා , විශේෂඥ මනෝ වෛද්‍යවරිය හා පරිවාස නිලධාරිනිය ඇතුළු ස්වාධීන සාක්ෂි මඟින් මෙන්ම විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි අනුව පැහැදිලිවම සනාථ කර ඇති බව කියා සිටියේය.
 
එබැවින් විත්තිකරු එකී අධි චෝදනාවට වරදකරු කරන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
වැඩිදුරටත් කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කියා සිටියේ එලෙස දූෂණයට ලක්වූ තරුණිය වසර හයකට පසුව යළි අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් මෙම විත්තිකරු තමන්ව දූෂණය නොකළ බවත් , වෙනත් පුද්ගලයින් තිදෙනෙකු  තමන්ට ලිංගික අතවර කළ බවට ප්‍රකාශ කොට ඇතත් , මේවන විට විවාහක කාන්තාවක වන ඇය තම සැමියා හා ඔහුගේ පවුලේ ඥාති මිත්‍රාදීන් එම සිද්ධිය දැන ගැනීමට ඉඩ ඇති නිසා හෝ වෙනත් කරුණක් නිසා එලෙස සාක්කි ලබා දෙන්නට ඇති බවය.
 
දූෂණයට ලක්වූ තැනැත්තියගේ පසුව කුමක් ප්‍රකාශ කළත් , ඇය පෙර ලබා දී ඇති ප්‍රකාශය සහිත වීඩියෝ පටය අධිකරණය විසින් මේ වන විටත් , නරඹා ඇති බව අධිකරණයට පෙන්වා දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ අදාළ තැනැත්තියගේ එම ප්‍රකාශය ස්වාධීන සාක්ෂි මඟින් තහවුරු කර ඇති හෙයින් විත්තිකරු එකී අදි චෝදනාවට වරදකරු කරන ලෙසද ඉල්ලා සිටියේය.
 
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ලබන ජනවාරි 09 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියම කරන ලදී.
 
නඩුවට අදාළ ලිඛිත දේශන අද (15) සිට ඉදිරි සති දෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය දෙපාර්ශවයටම නියෝග කළේය.