
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන විශේෂ පෙත්සම් 37 ක කරුණු දැක්වීම් අද(02) දින මීට ස්වල්ප මෙහොතක පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සම්පූර්ණයෙන්ම අවසන් කෙරිණි.
පෙත්සම් 39 ක් අධිකරණය හමුවේ ගොනු කර තිබුණද මෙම පෙත්සම් කරුණු සලකා බැලීමේ තෙවැනි දිනය වූ අද(02) දිනය වන විටදීත් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ සිවිල් වැසියන් දෙදෙනෙකු ගේ පෙත්සම් දෙකකට අදාළව කතානායකවරයා වෙත නොතිසි ලැබීම හේතුවෙන් එම පෙත්සම් දෙක විභාගයට නොගෙනම ඉවත දැමීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කෙරිණි.
අද (02) පෙරවරුවේ තෙවැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වු අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.
එහිදී යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 37 වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුනු අතර පනත් කෙටුම්පතට පක්ෂව ගොනු කළ අතර මැදි පෙත්සම්කාර පාර්ශවයන්හි කරුණු දැක්වීම මධ්‍යහ්න 12.30ට ඇරඹිණි.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, ඒම්. දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී.වීරතිලක, පී.ජී.බී.අබේරත්න , රංජිත් ධනපාල අබේරත්න , දඩල්ලගේ ටයිටස් පත්මසිරි , ආර් .පත්බේරිය ,එච්.එම්.ඩී බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.

