17 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි රාජිතට සිතාසි


(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන 17 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් රාජිත සේනාරත්න මහතාට අද (13) සිතාසි නිකුත් කළේය.

සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමූ බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර පසුව රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදුන්නේය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කළ නියෝගය ඉවත දමා රාජිත සේනාරත්න මහතා රීමාන්ඩ් භාරයට පත්කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේදී බොරු රැවුල්වලින් සරසා පුද්ගලයින් දෙදෙනකු කැඳවා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අසත්‍ය කරුණු හෙළි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ෂණ කටයුතු නිසි ලෙස කරගෙන යෑමට නොහැකි වූ බව ද නීතිපතිවරයා අදාල ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය මගින් කොළඹ මහාධිකරණයට දැනුම්දී ඇත.

සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ෂන සිදුකළත් ඔහු දින කීපයක් සැගවී සිටි බවත් අනතුරුව පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවත් එම රෝහලේ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම මත සිද්ධියට අදාලව ඔහුගෙන් ප‍්‍රකාශයක් හෝ ලබාගැනීමට නොහැකි වූ බවත් දැනුම් දුන් නීතිපතිවරයා මේ සම්බන්ධ සියලු කරුණු අධිකරණයට දැනුම්දුන් බවත් සිය පෙත්සමේ සඳහන් කර ඇත.

අපරාධ සිද්ධියක ප‍්‍රධාන විමර්ෂකයා වන්නේ මහේස්ත‍්‍රාත්වරයා බවත් අපරාධය හෙළිකරගැනීම සඳහා ඔහු විමර්ෂන නිලධාරීන් මෙහෙයවිය යුතු බවත් දැනුම් දුන් නීතිපතිවරයා මෙම සිද්ධියට අදාලව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය එලෙස කටයුතු කර නොමැති බවත් පෙන්වා දුන්නේය‍ෙ.

සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවක් කැඳවීමට මහේස්ත‍්‍රාත්වරිය කටයුතු කර නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ ප‍්‍රකාශයක් හෝ නොගෙන ඇති අවස්ථාවක ඔහු අප මත මුදාහැරීමට මහේස්ත‍්‍රාත්වරිය කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් විමර්ෂණවලට බලවත් අගතියක් සිදුවී ඇතැයි පෙන්නා දෙන නීතිපතිවරයා මේ හේතුවෙන් රාජිත සේනාරත්න මහතාට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කර සේනාරත්න මහතා යළි රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියම කරන්නැයි අදාල ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය මගින් ඉල්ලීමක් කර ඇත.