15 දැරිය තවත් වෙබ් අඩවි තුනකින් අලෙවි කරලා


(ඉන්දිකා රාමනායක)

පහළොස් හැවිරිදි බාලවයස්කර දැරියක් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට  සම්බන්ධයෙන්   පරීක්ෂණ පවත්වන පොලිසිය  අන්තර් ජාලය හරහා දැරිය අලෙවි කළ  තවත් වෙබ් අඩවි 3 ක  තොරතුරු හෙළිකරගෙන  ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා පවසයි.

මේ අනුව මෙම වෙබ් අඩවි සමග  දැනට  මෙම දැරිය වෙබ් අඩවි 5 ක් හරහා අලෙවි කර ඇති බව  හෙළිව ඇතැයි හෙතෙම කියා සිටියේය.

මෙයින්    වෙබ් අඩවි දෙකක් හදුනාගෙන  ඒවායේ හිමිකරුවන් ඇතුලූ සිව්දෙනකු දැනට  අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්  බාරයට පත් කර ඇති අතර   සෙසු  වෙබ් අඩෙවි 3 ක   පිරිස අත්අඩංගුවට ගැනීම සදහා   පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

 මෙම පිරිසට අමතරව  මෙම  ලිංගික කටයුතු සදහා මෙම දැරියට  කාමර හා  නවාතැන්  පහසුකම් ලබා දුන් පිරිස සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ  කර ඇති බවද  හෙතෙම කීය.

 දැනට හෝටල් හ නවාතැන් පොළවල් කිහිපයක්  හදුනාගෙන ඇති බවත්,  ඒවායේ  හිමිකරුවන් ,කළමනාකරුවන් අත්අඩංගුවට ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන්  දැනට  සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර ඇති අතර එම පිරිස අතර  මෙම දැරිය ගේ මව සහ ඇගේ අනියම් සැමියා,  වන බවත් දැරිය අපයෝජනයට ලක් කළ පිරිස අතර   මාලදිවයින් ජාතිකයකු,  නැවක කපිතාන්වරයකු, කෝටිපති ව්‍යාපාරිකයකු,  ප‍්‍රාදේශිය සභා උප සභාපතිවරයකු සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මෙම දැරිය  තදින් අයිස් මත්ද්‍රව්‍ය සදහා  ඇබ්බැහිව සිටින්නියක් බවත් ප‍්‍රධාන සැකකරු  ඇයට අයිත් මත්ද්‍රව්‍ය  ලබා දී ඇගෙන් සේවය ලබාගෙන ඇති බවට හෙළි ව ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.