පාස්පෝට් තොරතුරු ගුවන් තොටුපළ බලධාරීන් වෙත
උපුල් වික්‍රමසිංහ
රටේ තැනින් තැන සිදුවෙන වෙඩි තැබීම්වලට ආරක්ෂක අංශවලින් නීත්‍යනුකූලව ඉවත් නොවූ සාමාජිකයන් සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළිවීමත් සමග එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ බුද්ධි අංශ මෙහෙයුම් ආරම්භ කර ඇත.
පාතාලයේ සිදුවෙන වෙඩි තැබීම් බොහොමයකට ත්‍රිවිධ හමුදාවල සේවයේ සිට ඒවායෙන් පැනගිය පුද්ගලයන් සම්බන්ධ බවට තොරතුරු තහවුරුවීමත් සමග මෙම මෙහෙයුම් වේගවත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලීන් ජෝශප් ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව එසේ සේවයෙන් ඉවත් නොවූ ආරක්ෂක අංශ සාමාජිකයන් රටින් පැන යාම වැළැක්වීමේ පියවරක් වශයෙන් ඔවුන්ගේ විදේශ ගුවන් ගමන් බලපත්‍ර තොරතුරු හා වෙනත් තොරතුරු ගුවන් තොටුපළ බලධාරීන් වෙත ලබා දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගන්නා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් නොවූ ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් පළමුව ඔවුන් පදිංචි පොලිස් වසම්වලින් නිෂ්කාශන වාර්තා ලබාගන්නා බවත් යම් අපරාධවලට ඔවුන් සම්බන්ධ බව එම වාර්තාවලින් හෙළිවුවහොත් එවැන්නන් පොලිසිය වෙත භාරදෙන බවත් කී මාධ්‍ය අධ්‍යක්ෂවරයා සෙසු අය නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේ ය.
පසුගිය 13 වැනිදා අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කරන ලද කුලී ඝාතකයන් දෙදෙනාම හමුදා සේවයේ සිට ඉවත්වූවත් වන අතර පසුගිය කාලයේ සිදු කරන ලද වෙඩි තැබීම් බොහොමයකට හමුදා සේවයේ සිට නීත්‍යනුකූලව ඉවත් නොවූ පුද්ගලයන් සම්බන්ධ බවට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබිණ.

