විපක්ෂ නායක වෙනස් කිරීමට රහස් සාකච්ඡා


සුජිත් හේවාජුලිගේ

විපක්ෂ නායක ධුරය විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයෙකුට ලබාදීමට රහසිගත සාකච්ඡා ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගය ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන මැතිවරණයක් පරාජයට පත් වී ඇති තත්ත්වය යටතේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසගෙන් ඉවත්කර විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකුට ලබාදිය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්, දේශපාලන නිරීක්ෂකයෝ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු සහ බහුජන සංවිධාන යෝජනා කරති.

වර්තමාන විපක්ෂ නායකවරයා යටතේ විපක්ෂයේ කාර්යභාරය හරියාකාරව ඉටු නොවෙන බවත් විපක්ෂය බොහෝ කාලීන ප්‍රශ්නවලට  ආමන්ත්‍රණය නොකර ආණ්ඩුවට උපදෙස් දෙන පිරිසක් ලෙස කටයුතු කිරීම බරපතළ ගැටලු‍කාරී තත්ත්වයක් බවත් එම පිරිස් පෙන්වා දෙති.

නාමල් රාජපක්ෂ, දයාසිරි ජයසේකර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ කාර්යභාරය අද මැනවින් ඉටුකරන හෙයින් ඔවුන්ගෙන් අයෙකු විපක්ෂ නායක ධුරයට පත්කරගත යුතු බවට බොහෝ පිරිස් යෝජනා කරති.

මේ අතර විපක්ෂ නායක ධුරය වෙනත් අයෙකුට ගැනීමට ඇති හැකියාව සහ නීතිමය පසුබිමද මේ දිනවල විමර්ශනය කෙරෙන බව දැන ගන්නට ඇත.

සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් විපක්ෂ නායකවරයාට චෝදනා කෙරුණු අවස්ථාවේදී ඔහු වෙනුවෙන් කරුණු  දැක්වීමට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. පසුගියදා පැවති එම පක්‍ෂයේ කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වා ඇති විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ, තමා වෙනුවෙන් මන්ත්‍රීවරුන් පෙනී නොසිටින්නේ නම් තමා පෞද්ගලිකවම හෝ  ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි.

මේ අතර සමගි ජන බලවේගයෙන් පසුගියදා සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා මුලසුන විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාගේ නම අඬ ගැසූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා නොසිටීම නිසා සභාව කල් තැබීම හේතුවෙන් එම විවාදය කඩාකප්පල් විය. විපක්ෂයේ අකාර්යක්ෂමතාව මින් පෙන්නුම් කෙරුණු බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මේ අතර හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසන්නේ සමගි ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවයි. නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බව පැවසූ හිටපු අමාත්‍යවරයා  මැතිවරණ පරාජය වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි සෙසු සාමාජිකයන් ද වගකීම භාරගත යුතු බව ප්‍රකාශ කළේය.