විනය විරෝධී භික්ෂුන්ට දඬුවම් කරන්න සංඝාධිකරණයක් - නායක හිමිවරුන්ගෙන් වාර්තා කැඳවයි


සුජිත් හේවාජුලිගේ

විවිධ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම සහ සංඝයා වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට  සංඝ සභාවන්හි ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න පැවසීය.

එම වාර්තාව ලැබුණු පසු බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන බවද ඔහු සඳහන් කළේය.

ලේඛකාධිකාරී හිමිවරුන්ගේ වාර්තාව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට අද හෙටම භාරදීමට නියමිතය.

මේ කාරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග තමා පසුගිය දිනවල දීර්ඝව සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවලදී පැහැදිලි එකඟතා කිහිපයකට පැමිණීමට හැකි වුණු බවත් ගාමිණී සේනාරත්න මහතා පැවසීය.

එහිදී ඇති කරගත් එකඟතා සියල්ල ලේඛකාධිකාරී හිමිවරුන්ට භාර දී ඇති බව පැවසූ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඒ අනුව නායක හිමිවරුන්ගේ අදහස්ද ලබාගෙන පනත් කෙටුම්පත කාලයට ඔබින පරිදි සංශෝධනය කරන බවද ප්‍රකාශ කළේය. 

යම් යම් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ සංඝ සභාවන් මගින් විනය ක්‍රියාමාර්ග ගත්තද ඒ භික්ෂූන් චීවරය දරාගෙන තවදුරටත් කටයුතු කරන තත්වයක් දක්නට ලැබෙන හෙයින් සංඝාධිකරණයක් වැනි යාන්ත්‍රණයක් මගින් දඬුවම් කිරීමට හැකිවන පරිදි බෞද්ධ විහාර දේවාලගම් පනතට සංශෝධන එක් කරන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය පාලනය කිරීම සහ ඊට අදාළ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා බෞද්ධ නිකායන් හා පාර්ශ්ව විසින් සම්පාදනය කෙරෙන “ථෙරවාදී භික්ෂු කථිකාවත්’ පනත මූලික වේ. එයට අමතරව භික්ෂූන්ගේ හැසිරීම් පාලනය සඳහා විහාර දේවාලගම් පනතද යොදා ගැනේ.