මනෝප්‍රිය ගුණසේකර
ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම පටහැණි ආකාරයට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඖෂධ සමාගමකින් ඖෂධ මිලදී ගැනීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය පෞද්ගලික අරමුදල්වලින් රජයට රුපියල් කෝටි 27 1/2ක වන්දි ගෙවීමට ඔවුන්ට නියම කළේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඇතුළු ආයතන දෙකක් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දු ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් කෝටි 7 1/2ක්ද අනෙකුත් වගඋත්තරකරුවන්ට රුපියල් කෝටි 05 බැගින්ද වන්දි ගෙවීමට නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා වගඋත්තරකරුවන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට නියෝගයක් ද නිකුත් කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලදි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඇතුළු ආයතන දෙකක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් සෙවන් රයිට් ෆාමසූටිකල් සමාගම, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණ.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේ දී මීට වසර හතරකට ඉහත දී ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම පටහැණි ආකාරයට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඖෂධ සමාගමකින් ඖෂධ මිල දී ගැනීමෙන් වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව වගඋත්තරකරුවන් විසින් සිය පෞද්ගලික අරමුදල්වලින් රජයට වන්දි ගෙවිය යුතු බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් මිලියන 75ක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන නමැත්තන් රුපියල් මිලියන 50ක්ද බැගින් රජයට වන්දි ගෙවිය යුතු බවට නියම කළේය.
අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් අගවිනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන විසින් තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැණිව ලියාපදිංචි නොකළ සමාගමකින් වෛද්‍ය සැපයුම් ලබාගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති හෙයින් වගඋත්තරකරුවන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේ දී අදාළ සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු ලියාපදිංචියක් නොමැති ආයතනයක් බවට පැහැදිලි කරුණු ඉදිරිපත් වී ඇතැයි තීන්දුවේ සඳහන් වේ.
මෙවැනි ආයතන සම්බන්ධයෙන් ස්වාධීනව සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට නීතිමය ප්‍රතිපාදන මගින් බලය ලබා දී ඇතත් එම අධිකාරිය ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් කර නොමැති බව ඉදිරිපත් වූ කරුණුවලින් පැහැදිලිවම පෙනී යන්නේ යැයි තීන්දු කළ විනිසුරු මඩුල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර අදාළ අනුමැතියක් ලබාගෙන ඇති නමුත් කිසිදු ආකාරයක ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අදාළ මාර්ග උපදේශන අනුගමනය කර නොමැති බවද සඳහන් කර ඇත.
මෙම සියලු ක්‍රියා සිදුකර ඇත්තේ වගඋත්තරකරුවන්ගේ අනුදැනුම මත බවත් සියලු සිදුවීම් ඔවුන් හොඳකාරවම දැන සිටි බව මෙන්ම වගඋත්තරකරුවන් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කරමින් ජනතාවගේ සුබසාධනය සඳහා වෙන්කළ අරමුදල් අනිසි අන්දමින් භාවිතයට ගෙන ඇති බවත් අධිකරණයේ මතය බව නඩු තීන්දුවේ සඳහන් වේ. ජනතාව වගඋත්තරකරුවන්ට පවරා ඇති බලතල සහ කාර්යභාරය ඔවුන් නිසියාකාරයෙන් හඳුනාගෙන නොමැති බව පමණක් නොව ජනතාව ඔවුන්ට පවරා ඇති බලතල සහ කාර්යභාරය ජනතා යහපතට යොදාගෙන නොමැති බවද අධිකරණයේ මතය බව තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියෙන් වගඋත්තරකරුවන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ද ඔවුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති සමාන ලෙස සැලකීය යුතු බවට වූ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි ද තීරණය කළ විනිසුරු මඩුල්ල ඒ අනුව වගඋත්තරකරුවන්ට වන්දි ගෙවීමට නියෝග කළේය.
පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතිඥ තුෂාරි ජයවර්ධනගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනානි දයාරත්න පෙනී සිටියාය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, සුරේන් ප්‍රනාන්දු සහ උදිත ඉහළහේවා මහත්වරු පෙනී සිටියහ.
වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් පෙනී සිටියේය.

