රස පරීක්ෂක වාර්තා පමාවෙන් සැකකරුවෝ 15,600 ක් හිරේ - රස පරීක්ෂක නිලධාරී හිඟය 121ක්


උපුල් වික්‍රමසිංහ

වසර 2026 ජනවාරි මස 31 වැනි දින වෙනවිට රස පරීක්ෂක වාර්තා නොමැතිව බන්ධනාගාරවල සැකකරුවන් 15,674 ක් රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

එයින් සැකකරුවන් 728 දෙනකු මාස දොළහකට වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින අතර 3706 දෙනකු මාස 6-12 අතර කාලයක් ද 4904 දෙනකු මාස 3-6 අතර කාලයක් ද 6336 දෙනකු මාස තුනකට වඩා අඩු කාලයක් ද රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් බන්ධනාගාරගතව සිටින බව එම සංඛ්‍යා දත්ත වැඩිදුරටත් හෙළි කරයි.

මේ සම්බන්ධව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉකුත් 19 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ තම ආණ්ඩුව බලයට පත්වෙන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 121 ක් පැවති බවත් රස පරීක්ෂණ වාර්තා හිඟයට ප්‍රධාන හේතුව එය බවත් ය.

“දැන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණයත් ඉහළයි. ඒ නිසා මේ හිඟයෙන් අධිකරණවල විභාගවෙන නඩු කටයුතුවලටත් විශාල බලපෑමක් වෙනවා. සැකකරුවෙකුට ඇපයක් දෙන්න කලින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් අධිකරණය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තා ඉල්ලනවා. මේ නිලධාරී හිඟය ඒ සඳහා බාධාවක්” අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට වඩා වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන අත්අඩංගුවට පත්වන්නන්ගේ නඩුකර මහාධිකරණයේත් ග්‍රෑම් 2ට වඩා අඩු  නඩුකර මහේස්ත්‍රාත් අධිකරණවලත් පවරනු ලැබුව ද පසුගිය රජය කාලයේ ගෙනා නීති සංශෝධනයක් අනුව ග්‍රෑම් 10 ට වැඩි මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අදාළ නඩු අභියාචනාධිකරණය හමුවේත් ඊට වඩා අඩු මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුකර මහාධිකරණය හමුවේත් ගොනු කළ යුතු බැවින් ඇතැම් නඩු නිශ්චිතව ගොනු කළ යුතු අධිකරණය හඳුනා ගැනීම ද අසීරු බව කී අමාත්‍යවරයා රස පරීක්ෂක වාර්තා ලැබුණු පසු නඩු ගොනු කරන හෙයින් සැකකරුවන් ඒ දක්වා බන්ධනාගාරගත කිරීමෙන් විශාල සැකකරුවන් පිරිසක් බන්ධනාගාරගතව සිටින බව ද සඳහන් කළේ ය. 

මේ ගැටලුවට පිළියමක් වශයෙන් ඊට අදාළ නීති ඉදිරියේදී සංශෝධනය කිරීමට බලාපොරාත්තු වන බවත් රස පරීක්ෂක පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේ ය.