උපුල් වික්රමසිංහ
අත්යවශ්ය නොවන හෝ අකාර්යක්ෂම රාජ්ය ආයතන 34 ක් වසාදැමීමට හෝ ඒකාබද්ධ කිරීමට මුදල් අමාත්යාංශය මගින් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. හොඳ ශක්තිමත් වෘත්තිකයන්ගෙන් සමන්විත ආකර්ෂණීය රාජ්ය සේවයක් ගොඩනැගීම රජයේ අරමුණ බව ද හෙතෙම කීවේ ය.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ පසුගිය සිකුරාදා (23දා) රජයේ මිනින්දෝරු සංගමයේ 100 වැනි වාර්ෂික සම්මේලනයේ ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
ඊට අදාළව ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉකුත් කාලයේ සිදු වූ දේශපාලන පත්වීම් හේතුවෙන් රාජ්ය සේවයේ පහළ මට්ටම් පිරී පැවතීමෙන් විශාල වැය බරක් පැමිණ ඇති බව ජනාධිපතිවරයා එහිදී කී බවය.
අතීතයේදී රාජ්ය අංශයේ රැකියාවලට වැඩි කැමැත්තක් තිබුණ ද වර්තමානයේ වෘත්තිකයන් රඳවාගැනීමට නොහැකි වීම නිසා රාජ්ය සේවයේ ආකර්ෂණය ගිලිහී ගොස් ඇතැයි ද එබැවින් ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සහ කළමනාකරුවන් බඳවාගැනීම දුෂ්කර වී ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ යැයි එම මාධ්ය නිවේදනයේ දැක්වේ.
අහෝසි කිරීමට හෝ ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇති රාජ්ය ආයතන පිළිබඳ තොරතුරු දැනගැනීමට ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය ව්යර්ථ විය.

