කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකට දන්වයි
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට සිකුරාදා (6) දැනුම් දුන්නේය.
මෙම තීරණය දැනුම් දෙමින් කථානායකවරයා මෙසේ පැවසීය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.
මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි ද මම නියෝග කරමි. මේ අනුව මෙම පනත් කෙටුම්පත නුදුරු දිනක පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට නියමිතය.
පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු මන්ත්‍රීවරුන් පන්සිය දොළොස් දෙනකුගේ (කලත්‍රයන් ද ඇතුළුව) විශ්‍රාම වැටුප අහෝසි වී යන්නේය.”

