සුජිත් හේවාජුලිගේ
රජයේ රෝහල්හි මෙන්ම බොහෝ පෞද්ගලික රෝහල්වල කාමර ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඩෙංගු කළමනාකරණ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය. මේ හේතුවෙන් ඇතැම් පෞද්ගලික රෝහල් අලුතින් රෝගීන් බාර ගැනීම නවතා ඇතැයි අප කළ සොයා බැලීම්වලදී හෙළි විය.
දිවයිනේ බොහෝ රජයේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත්, බස්නාහිර පළාතේ එම තත්ත්වය ඉතා දරුණු බවත්, පවතින තත්ත්වය පිළිබඳව අප කළ විමසුමකදී විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වන විට එක ඇඳේ රෝගීන් දෙතුන් දෙනා සිටින බව කී ඔහු මේ හේතුවෙන් රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු අඩාල වන බව ද ප්‍රකාශ කළේය. රෝහල් කාර්ය මණ්ඩලවලට ප්‍රතිකාර ලබාදීමේ දී සීමා පවතින බවත්, වෙනත් රෝගවලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට ද මේ හේතුවෙන් විවිධ දුෂ්කරතා මතුව ඇති බවත්, හෙතෙම සඳහන් කළේය.
පවතින තත්වය පාලනය කිරීමට ජනතාවගේ උපරිම සහාය අවශ්‍ය බවද වඩාත් සංවිධානාත්මකව මෙම තත්ත්වයට මුණදීමට සියලු සහයෝගය වගකිවයුතු අංශ වෙත ලබාදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඩෙංගු පැතිරීම දෙස බැලීමේ දී 2017 සංඛ්‍යා ලේඛන ඉක්මවා යන තත්ත්වයක් දක්නට ලැබෙන බව පැවසූ ඒ මහතා ජනතාව රෝගය ගැන සැහැල්ලුවෙන් තැකීම ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයිද ප්‍රකාශ කළේය.
ඩෙංගු රෝගීන් රෝහල් ගතවීම ප්‍රමාදවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් කීය. මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,455 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම පිරිස 38,160කි.
දකුණු පළාතෙන් රෝගීන් 11,274ක්, සබරගමුව පළාතෙන් රෝගීන් 6,073ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,026ක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේය. මේ මාසයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,082ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,447ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5124ක් හඳුනාගෙන ඇත.

