ගංවතුර පාලන ලෝක බැංකු ව්‍යාපෘතිය විසිකළේ කවුද?


  • 2019 දී ගෙනා කෝටි 4700ක ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනත් කරලා කැලණි, මහවැලි ඇතුළු ගංගා 11 ක ගංවතුර පාලනය කරන්න තිබුණා
  • ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් මෙවර මිනිස් ජීවිත රැසක් බේරෙනවා

උපුල් වික්‍රමසිංහ 

වසර 2016 ඇති වූ ගංවතුර උවදුරෙන් පසු කැලණි ගඟ, මහවැලි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා ද්‍රෝණි 11 ක ගංවතුර අවදානම අවම කිරීම සඳහා ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කරමින් තිබූ ව්‍යාපෘති නතර කිරීම හේතුවෙන් මෙවර උද්ගත වූ අධිගංවතුර තත්ත්වයෙන් ජීවිත රැසක් අහිමි වූ බව එම ව්‍යාපෘතිවලට සම්බන්ධව සිටි නිලධාරිහූ පවසති.

ගංවතුර පාලන....
ඒ අනුව ඩොලර් මිලියන 152 ක (ආසන්න වශයෙන් කෝටි 4,666ක්)  ලෝක බැංකුවේ ආධාර මත එම ආයතනයේ අනුමැතිය ලැබුණු පසු 2019 දී ආරම්භ කළ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති (Climate Resilience Improvement Project  - CRIP) යටතේ කැලණි ගඟ, අත්තනගලු ඔය, ගිං ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ, මුන්දෙනිආරු, මල්වතු ඔය යන ගංගා ද්‍රෝණි අධ්‍යයනය කර ගුංවතුර අවදානම් විශ්ලේෂණය කර ඒවා පාලනය කිරීමට එමගින් යෝජනා කෙරුණ ද 2020 දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් එය නතර කරන ලදි.

ඒ එම ආණ්ඩුව විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවකින් ලද නිර්දේශ අනුව ය.

අදාළ ව්‍යාපෘති යටතේ කැලණි ගංගාවේ ගං මෝයේ සිට පූගොඩ දක්වා කිලෝමීටර් 27 ක දුරක් ගං ඉවුරේ ගංවතුර පාලන බැමි ඉදිකිරීමට යෝජනා කෙරුණු අතර ඊට අමතරව මහවැලි ගඟ, මල්වතු ඔය ඇතුළු තවත් ගංගා රැසක ගංවතුර පාලනය කිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයන ද සිදු කර තිබිණ. මෙම ව්‍යාපෘති වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සම්බන්ධ වී සිටි ප්‍රධාන ඉංජිනේරුවරයකු ඉරිදා ලංකාදීපයට පැවසුවේ ව්‍යාපෘතිය අතරමග නතර නොකළේ නම් මෙවර ගංවතුරෙන් මිනිස් ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට තිබූ බව ය.

“ඒ ගංගා ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කළා නම් ගංවතුර සෑහෙන පාලනය කරලා මිනිස් ජිවිත ආරක්ෂා කරගන්න තිබුණා. ව්‍යාපෘතියට 2019 දි ලෝක බැංකුවෙ අනුමැතිය හිමි වුණාට පස්සෙ කැලණි ගඟ, දැදුරු ඔය, අත්තනගලු ඔය, කලා ඔය, මහවැලි ගඟ, යාන් ඔය, මල්වතු ඔය, ගිං, නිල්වලා යන ගංගාවල ගංවතුර අවදානම පාලනය කරන්න අදාළ මූලික කටයුතු ආරම්භ කරලා තිබුණෙ.
විශාල ගංවතුරක් ආවොත් මහවැලි ගංගාවේ කන්දකාඩුව ප්‍රදේශයෙන් ඒක පාලනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයකුත් කළා. මල්වතු ඔයෙන් අනුරාධපුර නගරය යට වෙන එක වළක්වන්න වෙනම ශක්‍යතා අධ්‍යයනයක් කළා. ගංවතුරෙන් ගම්පහ හා ජාඇළ යටවෙන එක වළක්වන්න වෙනම යෝජනාවකුත් තිබුණා. ඒවයෙත් ශක්‍යතා අධ්‍යයන කළා. ව්‍යාපෘතිය නතර කරපු නිසා ඒ ඔක්කොම නතර වුණා. ගංගා ව්‍යාපෘති අතඇරලා දැම්මට පස්සෙ අපි දැනට කරන්නෙ වී ඔය සහ දැරණියගල ප්‍රදේශවල ජලාශ හදන එකයි ලවණ බාධකය හදන එකයි විතරයි” ඔහු පැහැදිලි කළේ ය.

2019 සිට 2030 දක්වා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මහවැලි අධිකාරිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතනවල සම්බන්ධීකරණයෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබිණ. 

අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ මෙම ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු තවමත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දැකිය හැකි අතර එය http://irrigationmin.gov.lk/climate-resilience-improvement-project-crip/ යන වෙබ් සබැඳියෙන් කියැවිය හැකි ය.