සුජිත් හේවාජුලිගේ
කොළඹ සහ ඒ අවට ඉඩකඩම් මිල අධික ප්‍රදේශවල නිවාස සංකීර්ණ සහ සුපිරි වෙළෙඳ සංකීර්ණ ඉදිකර ඇතැයි පැවසෙන හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලකයන් හය දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර ඇත.
හිටි හැටියේම මෙවැනි දේපළ හිමිවීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක් හෙයින් ඒ සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ කරුණු සොයා බලාගෙන යන බව ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
පාර්ලිමේන්තුව අවට, කොල්ලුපිටිය, බම්බලපිටිය වැනි ජනාකීර්ණ ප්‍රදේශවල මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණ ඉදිකර පවත්වාගෙන එන අතර මේවාට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කළේ කෙසේ දැයි විශාල අබිරහසක් බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම දේශපාලකයන් හය දෙනාගෙන් බහුතරයක්ම මෙරට ප්‍රධාන පෙළේ ඇමැති ධුර දැරූ අය වෙති. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි ගණනාවක්ම ලැබී ඇතැයි විමර්ශන අංශ සඳහන් කරයි.
දැනගන්නට ඇති අන්දමට මෙම දේශපාලකයන් බොහෝ දෙනෙකු එම දේපළ මිලදීගෙන ඇතැයි පැවසෙන්නේ විශේෂ ව්‍යාපෘති සහ විශේෂ මිලදී ගැනීම්වලින් අනතුරුවය. මෙම දේශපාලකයන් සතු බැංකු ගිණුම් සම්බන්ධයෙන් ද ඉදිරියේ දී විමර්ශන සිදු කෙරේ.