මනෝප්‍රිය ගුණසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ විත්තිකරුවන් 12 දෙනා මෙන්ම නීතිපතිවරයාද ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමට සැරසෙන බව වාර්තාවේ.
නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, සියලුම විත්තිකරුවන් නිදොස් කිරීමට තීරණය කර තිබියදී සාමාජික විනිසුරුවරුන් දෙදෙනා බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් 12 දෙනකුට මරණීය දඬුවම් නියම කිරීම හේතුවෙන් විත්තිකරුවන්ද, විත්තිකරුවන් 12 දෙනෙකුට වඩා වැඩි විත්තිකරුවන් පිරිසක් චෝදනාවන්ට වරදකරුවන් විය යුතු බව පවසමින් නීතීපතිවරයාගේ අනුමැතිය මතද මහාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට සැරසෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
තීන්දුවට එරෙහිව දින 28ක කාලයකදී ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීම පිළිබඳව සලකා බලන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීම අධිකරණයට දැනුම් දුන් අතර මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ විත්තිකරුවන් ද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමට සැරසෙන බව දැනගන්නට ඇත.
මරණීය දණ්ඩනය නියම කර මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින විත්තිකරුවන් බන්ධනාගාර අධිකාරිවරයා මාර්ගයෙන් අදාළ තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට ඇති පහසුකම් පිළිබඳ විමසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන් 25 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමටද නියම කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවෙන් මරණීය දණ්ඩනය නියම කළ විත්තිකරුවන් 12 දෙනා ඇතුළු විත්තිකරුවන් 16 දෙනකු වරදකරුවන් බවට තීරණය කළ අතර සෙසු විත්තිකරුවන් සිව් දෙනාට අවුරුදු පහකට අත්හිටුවනු ලැබූ මාස හය බැගින් සිර දඬුවම් නියම කෙරිණ.
ඊට අමතරව මේ සිද්ධියෙන් මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ බිරිඳ වන මාලනී අතුකෝරළට සහ අමරකීර්ති අතුකෝරලගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ සැරයන් ජයන්ත ගුණවර්ධනගේ බිරිඳ වන අනූෂා ඉන්දිකා ගුණවර්ධනට රුපියල් පනස්දහස බැගින් වන්දි ගෙවීමට නියම කළ විනිසුරු මඬුල්ල වන්දි මුදල් නොගෙවුව හොත් අමතර වසර දෙක බැගින් ලිහිල් වැඩසහිත සිරදඬුවම් නියම කරන බව ද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.
වසර දෙකකට අධික කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර බෙදුණු තීන්දුවේ සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති හෙයින් විත්තිකරුවන් සියලුම දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ මහාධිකරණ විනිසුරුවරුන් වන රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් දහසය දෙනකු වැරදිකරුවන් බවටද තවත් විත්තිකරුවන් 25 දෙනකු නිවැරදිකරුවන් බවට ද තීරණය කළ බව පැවසූහ.

