වසර පහගදී චීනයෙන් සහ ඉන්දියාවෙන් කෝටි 56,234 ක ප්ලාසිටික් භාණ්ඩ ගෙනැල්ලා


රුපියල් කෝටි 2160 ක් චීන සෙල්ලම් බඩු ගේන්න වැය කරලා - මහාචාර්ය වසන්ත අතුකෝරළ

මයික්‍රෝන 20 ට වඩා අඩු ඝනකම සහිත පොලිතීන් ආනයනය තහනම් - මධ්‍යම පරිසර අධිකාරිය

උපුල් වික්‍රමසිංහ

වසර 2020 සිට 2024 දක්වා ගත වූ වසර පහක කාලයේ දී ප්ලාස්ටික් ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 91,499ක මුදලක් වැය කර ඇතැයි සංඛ්‍යා දත්ත වලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

එම මුදලෙන් රුපියල් කෝටි 21,076 ක ප්ලාස්ටික් ද්‍රව්‍ය චීනයෙන් ද තවත් රුපියල් කෝටි 35,158 ක ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉන්දියාවෙන් ද අදාළ වසර පහක කාලයේ දී රටට ගෙන්වා ඇතැයි කී මහාචාර්යවරයා මේ අනුව එම දෙරටින් ගෙන්වා ඇති මුළු ප්ලාස්ටික් ප්‍රමාණය සියයට 61 ක් බව ද හෙළි කළේ ය.

එකී කාලයේ දී මෙරටට ගෙන්වා ඇති සෙල්ලම් භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ වෙනුවෙන් වැය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 3,210 ක් බව ද එයින් රුපියල් කෝටි 2,160 ක් වටිනා සෙල්ලම් භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ චීනයෙන් මෙරටට ආනයනය කර ඇති බව ද ඔහු කීවේය.

එම ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් බොහොමයක් රටට අනවශ්‍ය ඒවා බවද තවත් ඒවා මෙරටදී ම නිෂ්පාදනය කළ හැකි ඒවා බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය. ඒ අනුව 2024 වසරේ දී පාවහන් හා ඒ ආශ්‍රිත භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 247 ක් ද සබන්, ලිහිසි තෙල්, ඉටි සහ ඉටිපන්දම් වැනි ද්‍රව්‍ය ගෙන්වීමට රුපියල් කෝටි 816 ක් ද චීනයෙන් කාපට් ගෙන්වීමට කෝටි 82 ක මුදලක් ද වැය කර ඇතැයි මහාචාර්යවරයා අනාවරණය කළේ ය. එමෙන්ම කුඩ සහ සැරයටි චීනයෙන් ගෙන්වීමට 2024 දී රුපියල් කෝටි 52 ක් වැය කර ඇති බව ද ඔහු කීවේය.

ප්ලාස්ටික් භාණ්ඩ පිටරටින් ගෙන්වීම අධෛර්යවත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය සමග එකතු වී ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කොට ඇති බවත් ඒ අනුව මයික්‍රෝන 20 ට වඩා අඩු ඝනකමින් යුත් පොලිතීන් ඇතුළු ප්ලාස්ටික් භාණ්ඩ වර්ග රැසක් ආනයනය හා භාවිතය තහනම් කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එම අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ (ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය) පී.වී.එස්. ශාන්ත ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ එසේ ආනයනය තහනම් කර ඇති ප්ලාස්ටික් භාණ්ඩ පිළිබඳ ශ්‍රී ලංකා රේගුව දැනුවත් කර ඇති බවය. වරක් පාවිච්චි කරන ප්ලාස්ටික් භාණ්ඩ පරිසරයට විශාල තර්ජනයක් වී ඇති බව කී හෙතෙම ඒ අනුව ලන්ච් ෂීට්, ජල බෝතල්, යෝගට් කෝප්ප ඇතුළු ද්‍රව්‍ය රැසක් එම කාණ්ඩයට අයත් වෙන බව ද පැහැදිලි කළේ ය.