(ඩයනා උදයංගනී)
මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රජය මේ තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයකට ආ යුතුව තිබුණා. මෙවැනි ගැටුමක් නිර්මාණයවීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගත යුතුව තිබුණත් එවැනි කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වූ බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් සහ මෙම ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතු බවත්, ඔවුන් ජාතිවාදයට ආශිර්වාද කරන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු කියා සිටියේය.
දැන්වත් ඔවුන් තවත් තැනක මෙවැනි සිද්ධීන් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් ජාතිවාදී ප‍්‍රවණතාව පරාජයට පත්කිරීමට ක‍්‍රියා කළ යුතුව ඇතත් එවැනි ක‍්‍රියාමාර්ග ගනීවියැයි තමා නොසිතන බවද ජ.වි.පෙ නායකයා සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.