ත‍්‍රිශූලදීප තඹවිටගේ - මිනිමහිම (මිහිපා) මහේන්ද්‍ර කුලසිංහගේ - හිරුසඳුට ආදරෙයි (සෙව්වන්දි) රෝහණ සමරදිවාකරගේ මීදුමෙන් එහා (නිශාදි) ඉරේෂ් ලොකුබණ්ඩාරගේ නීල පළිඟු දිය (රුවන්ගි) යන චරිත සමග ආලින්දය හැඩකරන නිලූක්ෂි ප‍්‍රනාන්දු අද අපි සැඳැල්ල කතාබහට කැඳවීමු.
නිලූක්ෂි, මේ චරිත අතරින් ඔබට වඩා සමීප චරිතය කුමක්ද?
මට හිතෙන විදියට මිහිපා සහ රුවන්ගි චරිත ගැන අනෙක් චරිතවලට වඩා මිනිස්සු වැඩිපුර කතා වෙනවා. ඒ චරිත අතින් ‘මිහිපා’ චරිතය මට ගොඩාක් ළඟයි වගෙයි.
සැබෑ ජීවිතයේදී ඔබට මොනවගේ චරිතයක් වෙන්නද අවශ්‍ය වුණේ?
පැවරෙන සියලූ වගකීම් දරාගෙන, ඒවා ඉටු කරමින්, සැහැල්ලූවෙන් අවංකව ජීවත්වන චරිතයක් වෙන්නයි.
සමාජයේ සිටින චරිත අතරින් ඔබට මොනවගේ කෙනෙකුගේ ආදර්ශය ගන්නද ඕනෑ වුණේ?
කවදාහරි මට මගේ අම්මා වගේම වෙන්නයි මට ඕනෑ වුණේ.
අම්මා ලස්සනයි? හොඳයි? එහෙමද?
ඔව්, අපේ අම්මා ලස්සනයි. ඊටත් වඩා ඇය අරුත්බර වෙන්නෙ වගකීම් සාර්ථකව ඉටුකළ අපූරු කාන්තාවක් නිසයි.
පවුලේ ඔබ විතරද?
අම්මා, තාත්තා, නංගිලා තුන්දෙනා සහ මම. දැන් මම සැමියා සහ දියණිය.
ඔබ ඔබගේ අම්මා වගේම ඔබගෙ පවුලට වගකීම් ඉටුකළ සහ ඉටුකරන කෙනෙක් කියලා හිතනවද?
අනිවාර්යෙන්ම ඔව්. අපේ ලොකු නංගි විවාහ වුණා. ඒ වෙලාවේ මම දෙමාපියන්ට ලොකුු සහයෝගයක් දුන්නා. මට පුළුවන් විදියට මගේ උපරිමයට ඉටුකරනවා.
එදා ඔබ ඉගෙන ගන්නා කාලයේදී ඔබගෙ මව බලාපොරොත්තු වුණේ ඔබ කොතැනක නතර වේවි කියලද?
නිළියක වන බව නම් කවුරුවත් හිතන්න නැතුව ඇති. ඒ තරමටම මම ලැජ්ජාශීලි වුණා. අද වුණත් කැමරාව ඉදිරියේ රඟපෑවාට මම හරි ලැජ්ජාශීලියි. කොහොම වුණත් රංගනයෙන් ජනතාව පිනවීමට ලැබීමත් මා ලද වාසනාවක්. ඉතින් මේ විදියට රටට වැඩදායි චරිතයක් වේවි කියලා අම්මා හිතන්න ඇති.
ඔබගෙ කැමැත්ත වුණේ?
ලස්සනට ඇඳ පැළැඳගෙන කටයුතු කරන ලස්සන දොස්තර නෝනා කෙනෙක් පුංචිම කාලයේදී මම දුටුවා. කවදාහරි මටත් එහෙම වෙන්න ඇත්නම් කියන ආසාව එදා මට ඇති වුණා. පසු කාලයකදී පරිගණක ක්ෂේත‍්‍රයෙන් ඉහළට යන්න හිතුණා. කොහොම වුණත් පසුකාලයකදී රැකියාවක් කරන අතරතුරේදී තමයි මේ ක්ෂේත‍්‍රයට ආවේ. රංගනයෙන් සමාජයට පණිවුඩයක් දිය හැකි චරිත කිරීමේ ආසාව එහිදී ඇති වුණා.
රඟපෑමේ ක්ෂේත‍්‍රයේදී ඔබ අපේක්ෂා කළ ඒ චරිත ලැබුණද?
ඔව්, බොහෝ දුරට ලැබුණා.
ඒ චරිත අතරින් ඔබ මේ දක්වා ලැබූ ඉහළම ප‍්‍රතිචාරය?
මම රංගනයට එක්වූ පළමු ටෙලි නිර්මාණය වන අශෝක අතාවුදහෙට්ටි මහතා අධ්‍යක්ෂණය කළ සත්ෂෆාකාරය........? නාට්‍යයේ රඟපෑ චරිතයටයි. එතුමා දිනක පුවත්පතකට කියා තිබුණෙත්, සුමිත‍්‍රා පීරිස් මහත්මියට එදා වසන්ති චතුරානි හමුවූවා සේ මෙදා ඔහුට තවත් වසන්ති කෙනෙක් හමුවුණා කියලයි. ඉතින් ඒ වගේ ප‍්‍රතිචාර මේ ගමනට ලොකු ශක්තියක් වුණා.
ක්ෂේත‍්‍රයේදී රඟපෑමේදී ඔබට හමුවූ විශිෂ්ඨ රංගන ශිල්පිනිය කවුද?
මගේ ඇස් පනාපිට දුටු අපූරු ශිල්පිනියන් අතරින් වසන්ති චතුරානි, ජයනි සේනානායක, චාන්දනී සෙනවිරත්න වැනි ප‍්‍රවීනතම ශිල්පිනියන් හරිම විශිෂ්ඨයි.
ලෝකයේ මෙතෙක් දුටු කාන්තා චරිත අතරින් ඔබ වඩා ගරු කරන්නේ?
කතා දෙකක් නැහැ, ඒ මගේ අම්මාටයි.
ඒ හැර?
වෙන කෙනෙක් ඒ තරමටම මට දැනිලා නැහැ.
ඔබ සසල කළ පිරිමි චරිතය කවුද?
සංසිද්ධියක් හැටියට ගත්තොත් මගේ සැමියා තමයි.
ඔබ බොරු කියනවද?
කෙනෙකුට යහපතක් වෙනවා නම් හොඳක් වෙනවා නම් ඒ නිසා ඒ බොරුව කියන්නම වෙනවා නම් කියනවා.
ඔබ හොඳද? ඒ මොන වගේ දේ නිසාද?
වැරදීම් වෙනවත් ඇති. ඒත් මම සියලූ දේ කරන්නෙ හිතට එකඟවයි. ඒ නිසා හොඳයි කියලා හිතනවා.
හිතට දැනෙන ගී අතරින් ගීයක් මුමුණන්න කිව්වොත්?
”දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා
පසළොස්වක සඳ වාගේ මුහුණ පෙනෙනවා
මගේ අම්මා මට ලොව්තුරු සුවය සදනවා”
නිළි ගරුත්වය රැක ගැනීමට නම් මොනවගේ හැසිරිය යුතුද?
කරන රංගන රාජකාරිය අවබෝධයෙන් ගෞරවයෙන් කළ යුතුයි. මොන දේ කළත් මම ගැහැනියක යන අවබෝධය තිබිය යුතුයි. සමාජයට පණිවුඩයක් ගෙන දෙන විදියට ගැහැනුකම තබාගෙන ආදර්ශමත් විය යුතුයි.




