“සාධාරණ සමාජයක්’’ ජාතික ව්‍යාපාරයට තවත් සිවිල් සංවිධාන කිහිපයක්


(නිමල කොඩිතුවක්කු)

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව අසාධාරණයට පත්වන සමාජ පුරවැසියන්ට සාධාරණත්වය ලබා දීම උදෙසා සම්බන්ධ වී කටයුතු කිරීමට තවත් වෘත්තීය සමිති සහ සහ සංවිධාන කිහිපයක් එක්විය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නිවසේදී කරු ජයසූරිය මහතාගේ නිවසේදී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමින් හඬනැගීම තම සංගම් අගය කරන බැවින් මෙම පියවර ගත් බව එම සංවිධානය එහිදී පැවසුහ.

තමන් කටයුතු කරන්නේ ද සමාජ අසාධාරණයට එරෙහිව බැවින් තනි තනිව සටන් කිරීමට වඩා එක්ව කටයුතු කිරීම ශක්තියක් බැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව ඉදිරියට කටයුතු කිරීමට තම සංගම් අත්වැල් බැඳගැනීමට තීරණය කළ බවත් එම සංවිධානයන්හි නියෝජිතයින් ප්‍රකාශ කළහ.

එම හමුව සදහා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් අසේල සම්පත්, සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එස්. ප්‍රශාන්තන් සහ චිරාන්ත අමරසිංහ, ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය නියෝජනය කරමින් මහින්ද කුමාර, මව්බිම සුරැකීමේ ව්‍යාපාරය නියෝජනය කරමින් එම්.බී.එම්. නලීන්, මව්බිම සුරක්ෂා එකමුතුව නියෝජනය කරමින් සම්ස් ෆාරුක් යන මහත්වරුන් ඇතුළු තවත් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.