“මම අනාථයි. මට යන්න තැනක් නෑ“


‘‘මම අනාථවෙලා ඉන්නේ. මට යන්න තැනක් නැහැ. මගේ අත පය බැඳලා, ඔළුව ගැටගහලා, ඇඟ බැඳලා.“ යැයි ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ශ්‍රී ලංකා පදනම් ආයනයේ දී මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුව අමතමින් කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ගෝඨභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

අගමැතිවරයා කියා සිටියේ අධිකරණ තීන්දුව ගැන අදහස් ප්‍රකාශ කිරීම හෝ ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීමට නොහැකි බවයි. මෙතෙක් අධිකරණ නියෝගය තම රජයට ලැබී නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම ගැනත් ලබාදුන් නියෝගය ගැනත් කරුණු දැනගත්තේ මාධ්‍ය මගින් බවත් අගමැතිවරයා කියා සිටියේය. ඔහු මෙසේ ද කීවේය.

‘‘ගෝඨාභය රාජපක්ෂ මහතාට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්න සම්පූර්ණ අයිතිය තිබෙනවා. දැන් උසාවියෙන් නියෝගයක් නිකුත් කරලා. නමුත් මේ නියෝගය අපට තවමත් ලැබිලා නැහැ. අපිට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍යයි. නමුත් එයට අවස්ථාවක් ලැබුණේ නැහැ. එයට අවස්ථාව ලැබෙන්නේ ඔක්තෝබර් මාසයේ දී. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා නොවැම්බර් මාසය වනවිට රටේ තිබෙන්නේ අලුත් පාර්ලිමේන්තුවක් කියලා. ඉතින් ඔක්තෝබර්වල අධිකරණයට කරුණු දක්වන්න අපේ මේ කැබිනට් මණ්ඩලයට බැහැ. නොවැම්බරයේ බලයට පත්වන්නේ අපේ එක්සත් ජාතික පක්ෂ රජයක් වුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්වෙලා තියේවි. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් මාරුවෙලා තියේවි. ඇතැම් අය පාර්ලිමේන්තුවේ නැති වේවි. අලුත් අය ඇවිත් තියේවි. 2010 පත්වූ පාර්ලිමේන්තුවේ ඇමතිලාගේ සහ රජයේ නිලධාරීන්ගේ වැඩ සම්බන්ධයෙන් ඒ පාර්ලිමේන්තුවේම පත්කළ අපේ කැබිනට් මණ්ඩලයෙන් ගත්තු තීරණ සම්බන්ධයෙන් කරුණු දක්වන්න වෙන්නේ කාටද ? මේය ගැටළුවක්. 2010 ප්‍රශ්න වලට 2015 ජනවාරි වල සිට මේ දක්වා ගත්තු තීරණ වලට වග කියන්නේ 2016 කැබිනට් මණ්ඩලය ද ? මමත් අනාථ වෙලා මට යන්න තැනක් නැහැ. “

‘‘බරපතල මූල්‍ය වංචා හා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ඒකකය කැබිනට් පත්‍රිකාවකින් පත් කළ ද එය පොලිස්පතිවරයා යටතේ ස්ථාපිත කළා. පැමිණිලි සියල්ල විමර්ෂණය කිරීමෙන් පසු නීතිපති උපදෙස් හා අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වෙනවා. එවැනි ඒකකයක් දේශපාලන දඩයමක් යැයි කීම වරදක්. දැනට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තුමා නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු අධිකරණ තීරණය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති උපදෙස් ලබාගන්නට මා අදහස් කරණවා. එය විදේශ රටවල් මෙරට පාලනයට ඇඟිලි ගැසීමක් ලෙස වාර්තා එපා“

(වීඩියෝ ශාන්ත රත්නායක)

(ඡායාරූප ශාන්ත රත්නායක)

DSC_1921 DSC_1982 DSC_1987 DSC_1993 DSC_1999