“ජනපතිගේ වාහන ගැන සුමනදාසගෙන් අහමු“


හිටපු ජනපති කාර්ය මණ්ඩලය භාවිතා කළ වාහන ගැන හොයන්න පේන අහන්න සිදුව ඇති බවත් ඒ ගැන ගාල්ලේ සුමනදාසගෙන් හෝ අහන්නට සිදුවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දි කීවේය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපතිවරයා විසින් පරිහරණය කළ වාහන පිළිබඳ කරණ ලද විමසීමකට පිළිතුරු දෙමිනි.

“රජයේ නිලධාරියකු වුවත් තම තනතුරු වලින් ඉවත්ව යනවිට පරිහරණය කළ සියළු දේ බාර දි යනවා. මේ හිටපු ජනාධිපතිතුමාගේ වාහන ගස් ගල් යටින් ගරාජ් යටින් ලැබෙන්නේ ඇයි. එතන වාහන කොපමණ තිබුණාද ? ඒවායේ ලිපිගොනු නැද්ද ?“ දිසානායක මන්ත්‍රීවරයා විමසුවේය.

වික්‍රමසිංහ මහතා එය පිළිතුරු දුන්නේ වාහන ගැන නිසි ලේඛණ නැති බව පවසමිනි. 

‘‘වාහන හැමතැනින්ම ලැබෙනවා. අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ වාහන කීයක් තිබුණා ද කියා. වාහන සීයක් ද ? දාහක් ද ? ලක්ෂයක් ද ? කියා කිසිකෙනෙක් දන්නේ නැහැ. අපි හැමෝම එකතුවෙලා මේවා හොයන්න ඕනෑ. මේ වාහන ගැන ලිපිගොනු නැහැ මන්ත්‍රීතුමෝ. පේනයක්වත් අහන්න වෙනවා. නැත්නම් අර සුමනදාසගෙන් අහල බලමු “ යැයි ද අගමැතිවරයා කියා සිටියේය.