“උරුමයෙන්’’ තවත් ලක්ෂ 20කට ඉඩම්


(අංජුල මහික වීරරත්න)

ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20කට  ඉඩම් අයිතිය හිමි වන බව කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ  සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන්  කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ අද (5)පැවති උත්සවය අමතමිනි. 

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 5ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 3ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපතිවරයා කීය.

ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.