(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝග ජයගත යුත්තේ සේවකයන් ආරක්‍ෂා කරගනිමින් බව ද අගමැතිවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය සමඟ ඔවුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (30) පැවති සාකච්ඡාවකදීය.
බැංකු ණය සහන ලබාගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳාගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර මහතා මෙහි දී අදහස් දක්වමින් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන සම්බන්ධව වෙනම අමාත්‍යාංශයක් හඳුන්වාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට සිය සංගමයේ ප්‍රණාමය පළකළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පැවසූ මෙම නියෝජිත පිරිස තම ව්‍යාපාර හා වෙළඳාම් පවත්වාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
ව්‍යාපාර නඩත්තු කරමින් තවදුරටත් සේවකයන් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇතැයි කී එම නියෝජිතයෝ ඔවුන් සේවයෙන් ඉවත් කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව ද කීහ. එසේ සේවකයන් ඉවත්කිරීම ද දුෂ්කර බව ඔවුහු පෙන්වා දුන්හ.

