
(සුජිත් හේවාජුලිගේ සහ විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉහල පෙලේ අංගයට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස, එක්සත් රාජධානිය, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය,ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ නිලධාරීන් සමග ඉහළ මට්ටමේ ද්වි පාර්ශවික රැස්වීම් කිහිපයක් පසු ගිය (28) වැනි දින සිට පැවැත්විණි.
දෙපාර්ශවයන් අතර ඇති ද්විපාර්ශවික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම මෙම රැස්වීම් වල අරමුණ විය.
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේදී එල්ලවී ඇත්තේ පදනම් විරහිත, අහේතුක,පක්ෂග්‍රාහී චෝදනා බව එම කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ඇතුළු විදේශ නියෝජිතයන් පිරිසකට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (1) කරුණු පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ජිනීවා නුවරදී පෙරේදා හමුවී ඇති සෙසු නියෝජිතයන් වන්නේ මහා බ්‍රිතාන්‍යයේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිලිබඳ අමාත්‍ය ටරික් අහමඩ්,දකුණු අප්‍රිකාවේ අන්තර්ජාතික සබඳතා අමාත්‍ය නාලිදී පන්ඩෝර් සහ පකිස්ථානයේ මානව හිමිකම් පිලිබඳ අමාත්‍ය ෂිරීන් මසාරී යන මහත්ම මහත්මීන්ය.
විදේශ අමාත්‍ය ජීඇල් පීරිස්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සොලිසිටර් ජනරාල් නරීන් පුල්ලේ, ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම යන මහත්වරු එම විදේශ නියෝජිතයන් හමුවූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වූහ.
මේ සාකච්ඡාවකදී මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එම නියෝජිතයන්ට දීර්ඝව කරුණු පැහැදිලි කරදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මේ අතර ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අද රාත්‍රියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවීමට නියමිතය.

