’’ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා’’


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව අනාගතවාදී දැක්මකින් යුතුව  නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර  ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර  ඇතැයි  ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය  එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට ස්විස්ටර්ලන්තයේ දී එක් වෙමිනි.

ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය. 

2023 වර්ෂයේ දෙසැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාල වැඩසටහනෙහි පළමු සමාලෝචනය අනුමත කිරීම මගින් 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා  ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.