’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’


(යොහාන් භාසුර)

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළි කරන්නේ යැයි ජනාධිපතිවරයා දුන් පොරොන්දුව කඩකළ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී අද (21) පැවැති  මාධ්‍ය හමුවේදී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.

පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව අසමත් වුණොත් කතෝලික ජනතාව සමග පාරට බහින්නේ යැයි ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වූ පසු කාදිනල්තුමා තර්ජනයක් කළ බවත් එයින් බියට පත්වූ ජනාධිපතිතුමා අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙළිදරව් කරන්නේ යැයි මාර්තු 30 වැනිදා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දුන් බවත් ගම්මන්පිල මහතා පැවවසීය.

ජනාධිපතිතුමා 21 වැනිදාට පෙර මොකක් හෝ හෙළිදරව්වක් කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි බව කී ගම්මන්පිල මහතා අද අප්‍රේල් 21 වැනිදා වුවද ජනාධිපතිතුමා කිසිවක් හෙළිනොකිරීම තවත් එක් කඩවුණු පොරොන්දුවක් වූ බව ද සඳහන් කළේය.

පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පපොච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොලකරු යැයි ප්‍රකාශ කිරීමට ආණ්ඩුව සැළසුම් කර තිබූ බවත් එම සැලැස්මේ කෙතාටසක් ලෙස පිල්ලෙයාන්නට කිසිවකු හමුවීමේ අවස්ථාව නොදුන් බවත් ඒ මහතා කීය.  

නීතියෙන් හිමි  නීතිඥවරයෙකුට සහය ලබාගැනීමට අවස්ථාව පිල්ලෙයාන්නට අහිමි කළ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුව දැක්වීම ද ප්‍රතික්ෂේප කළ බවත් ඒ අතරේ ඔහුව පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ගම්මන්පලි මහතා සදඟන් කළේය.

ඒ අතරතුරේදී පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොව මහචාර්යවරයෙකු අතුරුදහන් වීමකට යැයි කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙලිකරමින් සිටින බව පොලිස් ඇමති පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.