’’ජනතාව ගැන සිතා තෙල් මිල අඩු කරන්න’’


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනතාව ගැන සිතා තෙල් මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඉන්ධන සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වා දුන් අවස්ථාවේදී මේ අය එදා හිනා වුණු බවත් සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.

අද අප මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ ජනතාව වෙනුවෙන් යැයිද හෙතෙම සඳහන් කළේය.

වික්‍රමරත්න මහතා මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය . ආර්ථිකය සම්පූර්ණයෙන්ම අනාගෙන ඇති හෙයින් මේ ආණ්ඩුවට ගමනක් නැති බවත් අද රට රාජපක්ෂ රාජ්‍ය වාදයට ඇද දමා ඇති බවත් වික්‍රමරත්න මහතා චෝදනා කළේය.

අද බැංකු පද්ධතිය අනතුරේ පවතින බවද හෙතෙම සඳහන් කළේය.

ජනතාව සමඟ නැගිටීමට අද අප පාර්ලිමේන්තුවේදී ප්‍රතිඥා දෙන බවත් අපේ රටේ දරුවන් වෙනුවෙන් මේ රජය වෙන් කර ඇත්තේ බිලියන එකසිය හැට හතක් පමණක් බවත් වික්‍රමරත්න මහතා කීවේය .

තෙල් මිල සූත්‍රයක් තියෙන්නෙ හොරකම අඩු කිරීමට යැයිද මන්ත්‍රීවරයා පැවසුවේය.