’’ගුරු පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්’’


(සුජිත් හේවාජුලිගේ)

ඇතැම් වෘත්තීය සමිති ගුරුවරුන් උද්ඝෝෂණවලට ඈඳා ගැනීම නිසා ඉදිරියේදී කොරෝනා ගුරු පොකුරක් නිර්මාණයවීමේ අවදානමක් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මේ උද්ඝෝෂණ මෙහෙයවන වෘත්තීය සමිති නායකයන් ඒවාට වගකිව යුතු වන බවද හෙතෙම සඳහන් කළේය

මේ අතර කොවිඩ් රෝගීන්ගේ සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

කෙසේ වෙතත් ඉන් රෝහල් ධාරිතාවයට බලපෑමක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයින් 66 දෙනෙකු මෙරටින් මේදක්වා හඳුනාගෙන ඇති බවත් ඉන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ඩෙල්ටා ආසාදනයවූ පුද්ගලයන් 66 දෙනාට අමතරව අනෙක් පුද්ගලයන්ට ආසාදනයවී ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය බව පැවසූ හෙතෙම සෞඛ්‍ය නීති නිසියාකාරව පිළි නො පැද්දහොත් කොරෝනා අවදානම උත්සන්න විය හැකි බවද ගුණවර්ධන මහතා පැවැසීය .

රෝගීන් සඳහා අවශ්‍ය ඇඳන් ප්‍රමාණය රෝහල්වල තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.