
(අංජුල මහික වීරරත්න)
මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය සඳහා පිරිසිදු දෑතින් එන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (3)පැවසීය.
මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරයේ සාධාරණත්වයක් නැතිනම් ඔවුන් නගන ප්‍රශ්නවලට ශ්‍රී ලංකාව පිළිතුරු සැපයිය යුතු දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීමේ සාධාරණත්වයක් නොමැති බව කී ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා යැයි කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිසිදු දෑතින් ආවොත් ශ්‍රී ලංකාව ඔවුන් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.


